Saturday, July 25, 2015

දවස නිමා වී නම් | විසි හතර වන ගීය

දවස නිමා වී නම්
විහඟ ගීය ද ගොළු නම්,
සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්,
අන්ධකාරයෙ රුවල් පට
මා සිසාරා හෙලනු මැන!

අතුරවා ස්වප්නයේ ඇතිරිලි
හොවා සුව නින්දෙක ලොවම
වසා ලනු මැන සෙමෙන්
සවස පර වූ රත් නෙළුම් පෙති.

ගමන නිම වනු පෙරාතුව
ඔළොගුව සිස් වූ
සළු ඉරී කිළිටි වූ
දිරි සිඳුන ඒ යාත්‍රිකයා
මුදා සන්තාපයෙන්

කුළුණු බර අඳුර තුළ
සැඟවගත් කුසුමක් සේ.
පුරා ලනු මැන ඔහු හෙට
නැවුම් ප්‍රමුදිත ජිවයෙන්

__________________________________________________________________

If the day is done, if birds sing no more, if the wind has flagged tired, then draw the veil of darkness thick upon me, even as thou hast wrapt the earth with the coverlet of sleep and tenderly closed the petals of the drooping lotus at dusk.

From the traveller, whose sack of provisions is empty before the voyage is ended, whose garment is torn and dust laden, whose strength is exhausted, remove shame and poverty, and renew his life like a flower under the cover of thy kindly night.

Saturday, July 18, 2015

ඔබ මා සොයා පැමිණෙන මාවත | විසි තුන් වන ගීය

ඔබ පිටත් වූයේද මිතුර!
මේ කුණාටු රාත්‍රියේ
ප්‍රේම චාරිකාවේ යෙදෙමින්
කෙඳිරි ලයි අහස් කුස
ප්‍රාර්ථනාවන්
සිඳ බිඳ විසිර ගිය
එකකු සේ!

නින්ද නැත - මා නෙත් මත,
සදාකාලයෙන් සදාකාලයට
යළි යළිත්
යළි යළිත්
විවර කරමින් - කවුළු පියන් පත්
නෙත් හෙළන්නෙමි,
හාත්පස පිරි අඳුර වෙත.

කිසිවක් නො වේ මා අබියස.
නො පෙනේ මට
ඔබැ පිය හසර රැ‍ඳෙන තැන.

සායමක් සේ කළුව ගිය
දිය දහර රැඳි නදී තෙර
අඳුරින් බොඳවැ ගිය
කවර ඉවුරෙක ද ?

රැවුම් ලන වන පෙතේ
කවර දුර තීරයෙක ද ?
සෝ අඳුර පිරි කවර 
වංක ගිරි පතුළක ද ?

රැ‍‍ඳෙන්නේ මාවත
ඔබ මා සොයා පැමිණෙන

__________________________________________________________________

Art thou abroad on this stormy night on thy journey of love, my friend? The sky groans like one in despair.

I have no sleep tonight. Ever and again I open my door and look out on the darkness, my friend!

I can see nothing before me. I wonder where lies thy path!

By what dim shore of the ink-black river, by what far edge of the frowning forest, through what mazy depth of gloom art thou threading thy course to come to me, my friend?

Saturday, July 11, 2015

නෙතු පියාගෙන හිමිදිරිය අද | විසි දෙවන ගීය

වැසි ‍වැටෙන ඇහැල මහ
ගැඹුරු සෙවනැළි අතර
රහස් පිය සන් තබමින්
රැකවළුන් නෙත රවටමින්
සක්මන් කරයි ඔබ!

නෙතු පියාගෙන සිටී
හිමිදිරිය අද,
මුරගාන පෙරදිග සුළං රැලි
නොතකමින් - නොබලමින්.
වසා ගෙන ඝන රුවල් පටෙකින්
සදා පිබිදුණ - නිල් අහස් කුස.

වන ලැහැබ් - රුක් ගොමු
නිහඬ කොට ‍ගෙන සිටි
මියුරු ගී රාවය.

වසා ඇත හැම නිවෙසක්ම
දොර අගුළු ලා
ඔබ වේ
තනිව පිය නඟන එකම මඟියා
මේ හුදකලා කතර මාර්ගයේ.

අනේ... මා එකම මිතුරණෙනි,
අනේ... මා එකම සුහදයාණෙනි,
විවර කොට තිබේ
දොර පියන් පත් - මා කුටියේ.
පා නඟා නොයනු මැන කිසි ‍විට
මා පියමං කොට සිහිනයක් සේ


__________________________________________________________________

In the deep shadows of the rainy July, with secret steps, thou walkest, silent as night, eluding all watchers.

Today the morning has closed its eyes, heedless of the insistent calls of the loud east wind, and a thick veil has been drawn over the ever-wakeful blue sky.

The woodlands have hushed their songs, and doors are all shut at every house. Thou art the solitary wayfarer in this deserted street. Oh my only friend, my best beloved, the gates are open in my house---do not pass by like a dream.

Wednesday, July 08, 2015

පමා වූ යාත්‍රාව | විසි එක් වන ගීය

දියත් කළ යුතුය මා යාත්‍රාව
අනේ..!
විකල් වූ සිතින්
අලස වූ හෝරාවන්
රැසක් වෙරළෙහි මැ ගත විය.

වසන්තය මල් කැකුළු
කිති කවා පුබුදුවා හැර
සැරැසී සිටී සමුගෙන යන්න
මුකුලිත ව සුව වියැකි
නිසරු මල් පෙති බරින්
ළතැවී බලා හිඳිනෙමි.

සරින් රළ පෙළ වියරු
පෙරැළි කරනා හඬ ඇසේ
ඉවුරු ඉද්දර
තුරු වියන් එළා ලූ
මාවතේ කෙළවර
ඉදුණු පත් නටමින් බිම වැටේ.

අරුත් සුන් බැල්මෙන්
ඔබ බලා සිටිනුයේ
කවර වූ හිස් බවක් දෙසද ?

නො හැ‍ඟේ ද ඔබට?
නො දැනේ ද ඔබට?
කොහේදෝ ඈතක
ඉවුරු තෙරකින් නැඟී
සුළං රැල්ලෙක පාව ඇදෙනා
මියුරු ගීයක බැඳුණු ස්වරයෙක
රැ‍ඳෙන සුමියුරු ප්‍රමෝදය!


__________________________________________________________________

I must launch out my boat. The languid hours pass by on the shore - Alas for me!

The spring has done its flowering and taken leave. And now with the burden of faded futile flowers I wait and linger.

The waves have become clamorous, and upon the bank in the shady lane the yellow leaves flutter and fall.

What emptiness do you gaze upon! Do you not feel a thrill passing through the air with the notes of the far-away song floating from the other shore?

Monday, July 06, 2015

නොඉවසිලිවත් ගිම්හාන සුසුම් රැල්ලක් | විසි වන ගීය

රත් නෙළුම විකසිත වූ දා
අනේ... මා සිත මං මුළා වී තිබිණ!
එය මගේ හැඟුමින් මිදී බැහැරව තිබිණ.
සුපුෂ්පිත මල ප්‍රහර්ෂය නොහඟිමින්
මගේ මල් පැස නිබඳ හිස් වී තිබිණ.

සන්තාප සංවේදනාවන්
යළි යළිත් ඉපිද හද වෙළද්දී
සිහිනයෙන් තිගැස්සී පිබිදී මට
නුහුරු සුවඳක සොඳුරු සේයාවක්
දකුණු දිග සුළං රැල්ලෙක
සෙමෙන් දැවැටී එනු දැනිණ.

ඒ නුහුරු සොඳුරු බව
ප්‍රාර්ථනාවේ සංකාවෙන්
රිදුම් කවනා සඳ, ම හද
එය,
නිම් තෙරක් සොයමින් ඇදෙන
නො ඉවසිලිවත්
ගිම්හාන සුසුම් රැල්ලක් සේ,
මට පෙනිණ.

නො දැන හුන්නෙමි මම
එය මා වෙතම වෙලී හුන් වග
මා සතුව තිබූ බව
මගෙම හදවත අගාධයේ
පිරිපුන් සුන්දරත්වය
පිපී මල්වර වී සුවඳ ඳුන් වග.

__________________________________________________________________

On the day when the lotus bloomed, alas, my mind was straying, and I knew it not. My basket was empty and the flower remained unheeded.

Only now and again a sadness fell upon me, and I started up from my dream and felt a sweet trace of a strange fragrance in the south wind.


That vague sweetness made my heart ache with longing and it seemed to me that is was the eager breath of the summer seeking for its completion.

I knew not then that it was so near, that it was mine, and that this perfect sweetness had blossomed in the depth of my own heart.

Saturday, July 04, 2015

ඔබ නිහඬ නම් | එකුන් විසි වන ගීය

ඔබ නිහඬ නම්
මම හිඳින්නම්
ඒ නිහඬ නිසල බව
දරාගෙන හද තුළ


රැ‍ඳෙන්නම් නිසලව
රාත්‍රී නිදි වරිත 
තාරකා මෙහෙවර සේ
ඉවසුමෙන් හිස නමා

එනු ඇති - සත්තකින්
පෙර මඟ, අරුණෝදය
සැඟව යනු ඇති, අඳුරු තිමිරය.

එවිට ඔබැ කට හඬ
රුවන් දිය දහරක් වී
ගලා හැලෙනු ඇති,
අහසින් පොළොවට

ඔබේ සුමියුරු වදන් වැල්
සැලෙනු ඇති
විහඟ කැදැල්ලෙක
රැව් දෙන ගීතයෙක
පිය පතක් වී

ඔබේ සුමියුරු මියැසි රාවය
විකසිතව රැ‍ඳෙනු ඇති
මල් කැකුළු සේ
තුරු ලැහැබ් මත

__________________________________________________________________

If thou speakest not I will fill my heart with thy silence and endure it. I will keep still and wait like the night with starry vigil and its head bent low with patience. The morning will surely come, the darkness will vanish, and thy voice pour down in golden streams breaking through the sky. Then thy words will take wing in songs from every one of my birds' nests, and thy melodies will break forth in flowers in all my forest groves.

Friday, July 03, 2015

කෙසේ ගෙවනුද මේ දිගු වස්සාන හෝරාවන් | අටළොස් වන ගීය

වලාවන් මත වලාවන් රෑහි වී
අඳුර පොදි ගැසෙද්දී
අනේ... ප්‍රේමය..!
දොරකඩින් මෙපිට ඔබ මා
හුදෙකලාවේ හැරැලූයේ කිමද?

ඉසුඹු කල් නො ලද
දිවා සමයේ
මහ පිරිස් මැද වූයෙමි.
එ නමුදු මේ පාළු
අඳුරු හෝරාවේ
ඔබමැ පමණකි මා
පැතූ එකම ප්‍රාර්ථනය.

ඔබ මගෙන් මුව සඟවා ගනිතොත්
පිළිකෙව් කොට මා පසෙන හැරැලූවොත්
නොදන්නෙම් කෙසේ ගෙවනු දැයි,
මේ දිගු වස්සාන හෝරාවන්

මම බලා හිඳින්නම්,
ඈත ආකාසයේ කෙළවරෙක
රැඳි සහන් එළිය දෙස,
කෑ ගසා හඬද්දී හද
අකීකරු සුළං දහරෙක් හා එක්ව

__________________________________________________________________

Clouds heap upon clouds and it darkens. Ah, love, why dost thou let me wait outside at the door all alone?

In the busy moments of the noontide work I am with the crowd, but on this dark lonely day it is only for thee that I hope.

If thou showest me not thy face, if thou leavest me wholly aside, I know not how I am to pass these long, rainy hours.

I keep gazing on the far-away gloom of the sky, and my heart wanders wailing with the restless wind.

Wednesday, July 01, 2015

ඉතින් අවසන්ය සල්පිල! | සතලොස්වන ගීය

බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය
ඔහුගේ දෑතට මා පවරන්නට
මේ සුනංගුව, අතපසුව හා
වරදකාරී හැඟුම එහෙයිනි

නීතියේ වරපට රැගෙන උහු
හනික එති මා බැඳ දමන්නට
එහෙත් සැඟවී ඔවුන් දෑසින්
බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය
ඔහුගේ දෑතට මා පවරන්නට

වරද පටවති දොස් තබති මා
නොසැලකිලිමත් කියා පවසති
වරද නැත පවසනා කරුණෙහි
ඔවුනගේ බස දොසක් නොදකිමි

අවසන්ය සල්පිලද, නොලසව
වෙහෙස වූ හැමගේම කටයුතු
කෝපයෙන් පිටවී ගොසින් දැන්
නිශ්ඵලව මට හඬ ගැසූ අය
බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය
ඔහුගේ දෑතට මා පවරන්නට


__________________________________________________________________

I am only waiting for love to give myself up at last into his hands. That is why it is so late and why I have been guilty of such omissions.

They come with their laws and their codes to bind me fast; but I evade them ever, for I am only waiting for love to give myself up at last into his hands.

People blame me and call me heedless; I doubt not they are right in their blame.

The market day is over and work is all done for the busy. Those who came to call me in vain have gone back in anger. I am only waiting for love to give myself up at last into his hands.