පණ්ඩිත් අමරදේවයන් හා තවත් කවීන්ගේ සටහන්

ගීතාංජලියේ මියුරු පද අතරින් මාධව වෛද්‍යරත්න තුරුණු කවියාගේ වෙසෙස් කව් සපුව මම මැනැවින් දකිමි.  මිනිසා විසින් සාක්ෂාත් කර ගනු ලැබූ උත්තරීතර වූත් විශිෂ්ට වූත් හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ පවර කිවි අරමුණ සපුරා ගැනීම් වස් රවින්ද්‍රනාත් තාගෝර් මහ කිවිඳුන් ජගත් සෞන්දර්ය මාතාව වෙත පුජෝපහාර කළ අංජලී ගීතාවලිය මාධව කවි සිත් අරණෙහි නව කාව්‍යරම්මණ සතපා ලූ සේ ය.  පරිසමාප්ත කාව්‍ය නිර්මාණයක රස හව් තුළින් පිපුණු කවි සිත සුබඳ පද දිය රැළි විසුරුවන උල්පතක් වනුයේ නිසර්ග සිද්ධ ප්‍රතිභානයෙහි පෙර ලකුණු ඇරැ පාමිනි.

- පණ්ඩිත් අමරදේව  
_______________________________________________

නොබෙල් ත්‍යාගය පිරිනැමුණු ප්‍රථම ආසියාතික සාහිත්‍ය ග්‍රන්ථය වන රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ‘ගීතාංජලී’ කාව්‍යයේ ගද්‍යමය පරිවර්තන මින් ඉහත සිංහලයෙන් පළ වී ඇතත්, ගීතාංජලියේ සිංහල පද්‍ය පරිවර්තනයක් මේ දක්වා දක්නට නොලැබිණි. තරුණ කවියකු වන මාධව වෛද්‍යරත්න විසින් සිය ප්‍රථම කෘතිය ලෙස ගීතාංජලියේ නිදහස් කාව්‍ය පරිවර්තනයක් කරනු ලබන්නේ ඒ අඩුව පූර්ණය කිරීමට දායක වෙමිනි.

තාගෝරයන්ගේ ගීතාංජලී කාව්‍යයේ කාව්‍යමය බව රමණීයතාව ඒ ආකාරයෙන් ම සිංහල ප්‍රතිරචනයකට පිවිසවීම එතරම් පහසු නිර්මාණ කාර්යයක් විය නොහේ. එහෙත් කවිය පිළිබඳ ව වූ සිය නිසග කවිත්වයේ උපරිම ශක්‍යතාවන් ඉස්මතු කරමින් මාධව වෛද්‍යරත්න ගීතාංජලි කාව්‍යය සිංහල කාව්‍යයට පරිවර්තනය කර තිබේ.

ඔහු රමණීය ලෙස කවි බස යොදා ගන්නා අපූරුව ද ස්වයං සිද්ධ විරිතක් ලෙස ගොඩනැ‍ඟෙන අයුරින් පද පෙළ ගස්වන ආකාරය ද මෙහි දී ගම්‍යමාන වේ. කාව්‍යෝක්තීන් සුන්දරතම වනු පිණිස ඔහු යොදා ගන්නේ වඩා ම යෝග්‍යතම සරළ සුන්දර වදන් ය. ඉන්ද්‍රිය රූප පරිවර්තනයේදී ඔහු වඩාත් සුරු බුහුටි වී ඇති අයුරුත්, කවි බස තනා ගැනීමේ දී දක්වන නිපුණතාවත් බැලුව මැනවි.

කිරිකැටියකුගෙ දෑස මත
තටු සලන නිද්‍රාව... !
පියාඹා ආවෙ එය කොහෙන්දැයි
දන්න කවුරුත් හෙම
ඉන්නවද... ?

රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගීතාංජලී කෘතියෙන් තෝරා ගත් නිර්මාණ කිහිපයක් කව් බසට නැඟූ මාධවට ගීතාංජලියේ තවත් අගනා මිණි කැට මඟ හැරී ගිය බ‍වට සැකක් නැත. රවීන්ද්‍රනාථයන්ගේ ඇතැම් රම්‍ය කවි කල්පනාවන් සිය සිංහල ප්‍රතිරචනයේ දී මඟ හැරුණේ එම කාව්‍යෝක්තීන් ඇතුළත් ගීතවල දීර්ඝභාවය හේතු කොට ගෙන වෙතැයි සිතිය හැකිය. අලුතින් කාව්‍ය නිර්මාණයට පිවිසෙන නවකයකුට ස්වයං නිර්මාණයක් කරනුවට වඩා පරිවර්තිත කාව්‍යකරණයක යෙදීම වඩාත් අපහසු වනු ඇත්තේ ඔහු තුළ වන භාෂාත්මක ව්‍යක්තතාව පිළිබඳ ව ඔහු තුළ ම ඇතිවන අතෘප්තිකර කල්පනාව විය හැකිය. එහෙත් මාධව වෛද්‍යරත්න නම් යෞවන කවියා සිය පරිවර්තිත කවි බස තනා ගැනීමේ දී මහත් පරිශ්‍රමයෙන් ද සංය‍මයෙන් ද සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙනුත්, නූතන කාව්‍යාවලියෙනුත් මනා සේ ආභාසය ලබා ඇති බව පැහැදිලි ය. තරුණ කවියකු ලෙස ඔහුගේ කවි බසින් දැකිය හැකි වන්නා වූ පරිචය හා හික්මීම ප්‍රශස්ත ය.

උත්තර මනුෂ්‍යයකු ද උසස් කවියකු ද වූ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ හද විණාවෙහි සියුම් තන්ත්‍රීන් දුන් රමණීය වූ නාදාවලිය මාධව වෛද්‍යරත්න නම් යොවුන් කවියාගේ සන්තානය තුළ ප්‍රබලව නිනාදව නිපන් අනු නාදයක්ව බිහි වූ ගීතාංජලී සිංහල ප්‍රතිරචනයෙන් එකී අති සියුම් ස්වර මාධූර්යය සිංහල කාව්‍ය රසිකයනට ද රිසි සේ විඳ ගන්නට මනා ව ඉඩ සැලසෙන්නේය.

- සෙනරත් ගොන්සල් කෝරාළ (නවලිය - පොතපත)
_______________________________________________

රවින්ද්‍රනාත් තාගෝරයන්ගේ ප්‍රතිභා විදර්ශනාව, අපරදිග නොබෙල් ත්‍යාගයෙන් හරසර ලැබීමට හේතු කාරණා සැපයූ ගීතාංජලිය, මාධව වෛද්‍යරත්න නම් යොවුන් කවිවරයා අතින් සිංහලට ප්‍රතිරචනයා විය. බොහෝ නිර්මාපකයින් සිය කුළුඳුල් කෘතිය සඳහා ස්වතන්ත්‍ර නිර්මාණයක් එළි දක්වන්නට යුහුසුළු වෙතත් විශ්ව සම්භාවනාවට පත් වූ මේ උතුම් කාව්‍යවලියේ වඩාත් අභිරමණීය කව් සිව් තිසක් සිංහල සාහිත්‍යාවලියට කව්ලකර ම ගුරු කොට ගනිමින් එළි දක්වන්නට ඉදිරිපත් වීම, එඩිතර වෑයමක් වන්නා සේම ප්‍රශංසා ලැබිය යුතු පින් කමෙකි.

ගීතාංජලිය, කර්තෘන් විසින් මුල දී බෙංගාලි බසින් විරචිත වුව ද එහි මැ ඉංග්‍රීසි පරිවර්තනයට තාගෝර් ගේ අත් පහස ලැබුන ද අනේක දේශ-දේශාන්ත‍රයන් හි දී මෙම කෘතිය එහි බසට නැඟී මේ දී එහි නිර්මාතෘන් බසින් සුජාත වෙසෙස් කාව්‍ය පෞරුෂය එලෙසම හැඳින ගැන්ම පහසු නොවේ. මන්ද ඒ ඒ පරිවර්තන කාර්යයේ යෙදී හුන් බොහෝ සෞන්දර්ය වේදීන් වෙතින්, නව්‍ය වූ, සිය බසට හා සිය විෂය ලෝකයෙන්ම උකහා ගත්, සුන්දර ඉන්ද්‍රිය රූපකයන්ගේ ගුණ සපුව ලද මෙම ගත මුල් ගීතාංජලියෙන් පරමාර්ථ වශයෙන් සමාන වුවද ස්වරූප වශයෙන් වෙනස් වන්නට ඇත; වෙනස් වනු ඇත. සිංහලයට දෙතුන් විටෙක ග්‍රන්ථ ලෙසද, බොහෝ විට තෝරා ගත් පද්‍යයක අරුත් නැගීමක් ලෙසද පළව ඇති මුත් මෙහිලා වෙසෙසා අගය කිරීමට හේතු කාරණා කිහිපයෙකි.

පළමුව, මාධව සිය කාවය කරණයෙන් ලද සුහුඹුල් කුසලතා ගීතාංජලී හා සමායෝග කරමින් මෙතෙක් පදානුගත වාග් කාණ්ඩ ලෙසම සිංහලයෙන් කියැවූ මෙය නිසැකවම පද්‍යයට නගා තිබීමයි.

දවස නිමා වී නම්
විහඟ ගීය ද ගොළු නම්,
සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්
අන්ධකාරයේ රුවල් පට
මා සිසාරා හෙලනු මැන !

අතුරවා ස්වප්නයේ ඇතිරිලි
හොවා සුව නින්දෙක ලොවම
වසා ලනු මැන සෙමෙන්
සවස පර වු රත් නෙළුම් පෙති.

+        +        +

හිමිදිරිය පැමිණේ නිසසලව
සුරතේ රැ‍ඳෙන
රුවන් පැස තුළ
පියකරු මේ මල් දම රැගෙන
කිරුළු පළඳනු පිණිස
පෘථිවියට....

දෙවනුව, තාගෝර් කිවිඳුන් ගේ උක්ත කෘතිය තුළ පද්‍යයේ බොහෝ සුවිශේෂිතා දිසේ. විටෙක එය ජගත් සෞන්දර්යයේ සෞකුමාර්ය විදහාලන මහා කාව්‍ය‍යක එක් සර්ගයෙකි.

බොඳව යන
ශරත් වලා රැල්ලක අද්දර
තැවරුණු චන්ද්‍ර ලේඛාවෙක
සුහුඹුල් හෙල්මැලි රැස් රුහැන් පට
හා එක්ව
පිනි පොදින් සේදුණු
උදෑසන මැවෙන සිහිනයක් තුළ....

පණ පොවයි සුහුඹුල් බීජ
ළපටි අංකුර සේ
ඉඳවයි කුසුම් රොන්
සුමිහිරි පළ වැල සේ...

විටෙක පෙරදිග දර්ශන වාදයේ පවර දැනුම් වලින් ආඩ්‍ය සම්පන්න වූ දේ, වඩාත් රසභාව පූර්ණව පද්‍යයට නැඟූ අවස්ථාවෙක් වෙයි.

පලායයි සියලු දෑ
හසරක් නොදැන කැලැඹෙයි
වෙරළක් නුදුටු
සමුදුරු රළ පෙළක් මෙන්
කවුළු දොරකඩ වෙත පැමිණි
ගිම්හානයේ සුසුම් හඬ
නැමී ගත් මුහුණින් මා වෙත
ඉහළ සිට

රැඳී ඇති විට ඔබේ නෙත
මා නෙත් මත
තැවැරෙයි මගේ හදවත
ඔබේ දෙපතුළ මත

ඔහු වෙතින් මෙකව ප්‍රතිරචනා නොවිනි නම්, පෙරදිග තවත් බුද්ධි පරම්පරාවක - ඥාන විමංසන මාවතක වඩාත් සුවිශිෂ්ට වඩාත් පූර්ණ සංවේදිතා අප කෙසේ හඟිමුද ? එබැව් මෙකී කෘතියේ හෘද විවරණයක යෙදෙන මුණි වරයෙකු ප්‍රකට කරන සුන්දර සත්‍යාන්දරයක්ම වී ඇත. එමතු ද නොව මෙය විටෙක සම්ප්‍රදායගත සීමාවන්ට හා සමාජ සම්බන්ධතා විෂයෙහි එල්ල කෙරුණු විකල්පවාදි පෙරදිග සටන් මගක් පිළිබඳ සාහිත්‍ය කලා ප්‍රවේශයක් යැයි පැවසුම කෙසේ ස්ථුට නොවේද? විමසන්න.

මගේ සක්මන නිමා වන විට
නැ‍ඟෙනු ඇති ඉරබටු තරුව.
ගොම්මන් අඳුරේ මියැසි රාටාවක්
නිරිඳුන ගෙ වාසල් කඩින්
නැගෙනු ඇති ඒ මොහොතේ
සෝ බරිත ස්වරයෙන්

මගේ සොයුරනි !
සමු දුන මැනව මට.
හිස නමා හරසර පුදමි ඔබ හට
වෙන් ව යනු පිණිස ඔබ ගෙන්.
මගේ නිවහන අගුළු ලා
යතුර ඔබ අත තබමි.
හැර දමමි මා සතු
සියළු හිමිකම් ආශා.
කිව මැන අවසන් වරට හෝ
දයාර්ද්‍ර වූ එකම එක වදනක්.

බියෙන් සැකෙන් තොර
සිතක් පවතිනුයේ කොතැනද... ?
නො බියව හිසොසවා
සිටිනු හැකිකොතැන ද... ?

මේසා මහත් අභිනන්දනයට පාත්‍ර වූ කෘතියක් එකී කෘතියේ ගුණ රුව සියල්ල හැකි පමණ දැක්වීමට වෙහෙසෙමින් සිය කාර්යය ඉටු කිරීමට මාධව වීර්ය වඩා ඇත්තේය. යථෝක්ත උපුටා දැක්වීම් ඊට දෙස් දෙනු ඇත.
සැබැවින්ම මෙමඟින් අප තාගෝරයන්ගේ නිර්මාණ ආරම්මන සමුදායයන් හා යම් තරමක හෝ හෘද සංවාදයකට මෙහි නිර්මාපකයින් විසින් ඉඩ සලසා ඇත. එහි ලා වඩාත් සාර්ථකව ඇත්තේ මාධව සිය කාව්‍යාභ්‍යාසයෙන් හිමි කර ගත් ධනයයි.

නුබ ගැබ කොනින් කොන
කස පහර සේ නටා දිවෙනා
විදුලි සැර රැහැන් පට.
පැහැයෙන් සිථිල වුව
සුවඳින් නොගැඹුරු වුව
යොදා ගත මැන එමල ඔබ සැනහු‍මෙනි;
නෙලා ගත මැන එමල මේ සුදුසු කාලයෙහි.

මෙකී ප්‍රතිරචනය කියවා විඳ ගන්නා රසිකයාට බොහෝ පරිවර්තන වලදී මෙන් අනවශ්‍ය වෙහෙසක් නොදැනෙයි. පිටස්තර බවක් නොහැ‍ඟේ. ඒ ඔහු යොදා ගත් පද වින්‍යාසයන් තාගෝර්ගේ දාර්ශනික සිතුවිලි හා පෑහෙන්නට තරම් වන හෙයිනි.

එහෙත් මාධව විසින් ජය ගත යුතුව ඇත්තේ ද හෙට දින ඔහුගේ අතින් හැඩ වන බොහෝ පර්වර්තන වල දී මුල් නිර්මාතෘන් ගේ නිර්මාණ යේ ලය සිය සීමා‍වන් හි පිහිටා ප්‍රතිනිර්මාණයටත්, සුදුසු ආකෘති මත ගොඩ නැඟීමටත් ය.

කෙසේ නමුත් මෙහිලා අවසන් වශයෙන් සටහන් කළ යුතුව ඇත්තේ;

ස්වකීය නිජ ‍බිමේ ගලා බස්නා බොහෝ ගංගා ද සහස් යොදුන් ගෙවනා බොහෝ අතයන මාවත්ද නිලින් සෙවණ කළ සිහිල් කෙත් වතු අතර ද, සිය දිගු ජීවිත තීර්තාව ගෙවා ලූ තාගෝරයන් සතු බොහෝ පෘථුල තර අධ්‍යාත්මික අස්වැන්නක් පෙර දිග කෙතේ අඩංගු විය. එහි වපසරිය මුළු මහත් ආසියාවටමත් සීහෙන බව මෙකී ප්‍රතිරචනයෙන් මාධව වෛද්‍යරත්න විසින් අපට පුනරාවර්ජනය කර සිටී.

- පාලිත අරවින්ද වීරක්කොඩි