පුවත්පත් විචාර

නොබෙල් ත්‍යාගයෙන් පුද ලද මහා කවි රවීන්ද්‍රනත් තාගෝරයන්ගේ ගීතාංජලී කෘතියෙන් තෝරා ගත් කවි තිස් හතරක් සිංහලට නැඟීම මාධව වෛද්‍යරත්න විසින් කර ඇත.

අපරදිග සාහිත්‍ය කෘති පරිවර්තනය කොට සාහිත්‍ය සේවයක් ඉටු කොට ඇති මාධව වෛද්‍යරත්න දුෂ්කර කාර්යකට අත ගසා එය සාර්ථකව අවසන් කර ඇති බැව් ‍මෙම කව් අනුවාද පරීක්ෂා කිරීමේදී පෙනී යයි. සාහිත්‍ය හා සෞන්දර්ය අතර ඇති සමීපතාව ගැඹුරින් තේරුම්ගෙන භාවයන් තුළින්ම එළිදැක්වීම අනුවාදකයාගෙන් සිදුවී ඇත.

භාෂාවන් අභිබවා යන විශ්ව සාධාරණ භාවයන් තේරුම්ගෙන එය සිංහල පාඨකයා වෙත පිළිගැන්වීම ගීතාංජලී නව අනුවාදයක් සිදුව ඇත. සිංහල කවීන්ට හුරු වූ පෙරදිග සම්ප්‍රදායක් බිහි කළ ගීතාංජලිය හා මහා කවි රවීන්ද්‍රනාත් තාගෝරයන් පිළිබඳ පාඨක අවබෝධය වැඩි කරවන ගීතාංජලී අනුවර්තනය කියවිය යුත්ත කැයි හැ‍ඟේ.

- දිවයින ඉරිදා සංග්‍රහය (දිවයින ග්‍රන්ථ විවේචන)
______________________________________________________________

රවීන්ද්‍රනාත් තාගෝර් මහ කිවිඳුන්ගේ ලෝක පූජිත “ගීතාංජලී” කාව්‍යයෙන් තෝරාගත් කවි කීපයක් ඉතා සොඳුරු හා වියත් බසින් සිංහලයට පෙරළා මෙම කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.

තාගෝරයන්ගේ “ගීතාංජලිය” භක්ති කාව්‍යයක් ලෙස බොහෝ විචාරකයන් විසින් සලකනු ලැබුවද එය ගත ඩහබිදු නංවන මිනිසකු ප්‍රස්තුත කර ලියැවුණක් ලෙස තරුණ පරිවර්තකයා දැක ඇත. ඔහු ශ්‍රේෂ්ඨ කිවියන්ගේ කවි බස ඉතා මැනවින් වටහා ගත්තකු ලෙසින්, ගීතාංජලී මුල් කෘතියේ හරය හා ගුණාත්මක භාවය නොබිඳ සිය පරිවර්තනය ඉතා ශූර අන්දමින් සකසා ඇත.

- ලංකාදීප (කවුළුව)
______________________________________________________________

රවීන්ද්‍රනාත් තාගෝර් කිවිදුන‍්ගේ ගීතාංජලී කෘතියෙන් උපුටාගත් කවි 34 ක් මාධව වෛද්‍යරත්න විසින් සිංහලයට පරිවර්තනය කරන ලදුව පළකොට තිබේ.

සිංහල පාඨකයින් අතර වුවද තාගෝර් ගැන නොදන්නා කෙනෙක් නැතැයි සිතමි. එහෙත් ඔහුගේ කෘති පරිශීලනයට අවස්ථාව ලැබෙන්නේ ඉන් ටික දෙනෙකුට පමණි. තාගෝර්ගේ කෘති අතුරින් කීපයක් පමණක් සිංහලයට පරිවර්තනය වී තිබීම ද එයට හේතුව විය හැකිය.

පරිවර්තනය සඳහා කෘතියක් තෝරා ගැනීමේදී බටහිරට යොමුවීම බොහෝ පරිවර්තකයන්ගේ පුරුද්දක් වී තිබුණි. එහෙත් දැන් දැන් භාරතීය ජපන් හා නයිජීරියානු වැනි සාහිත්‍ය කෙරෙහි යොමුවීමක් දක්නට ලැබේ. අපගේ ජන ජීවිත‍යට බෙහෙවින් සමීප සංස්කෘතීන් නියෝජනය වන සාහිත්‍ය කෘති සිංහලයට පෙරළීම වඩාත් වැඩ දායක වන බව අමුතුවෙන් කිව යුතු නැත.

ගද්‍ය කෘතියක් පරිවර්තනය කිරීමට වඩා බෙහෙවින් අසීරු කාර්යයකි පද්‍ය කෘතියක් පරිවර්තනය කිරීම. ගද්‍යයේ බොහෝවිට වාච්‍යාර්ථ ඉක්මවා යන ව්‍යංගාර්ථ ඇත්තේ ස්වල්ප වශයෙනි. එහෙයින් හුදෙක් වාව්‍යාර්ථය පරිවර්ථනය කිරීම සෑහෙයි. එහෙත් පද්‍යයෙහි එසේ නොවේ. පද්‍යය බොහෝ විට වාව්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංග්‍යාර්ථ ගැබ් කරගත් වචන සමුදායකින් සමන්විතව පවතී. එහෙයින් පරිවර්තකයා විසින් ව්‍යංග්‍යාර්ථ වටහා ගත යුතු සේ ම කව්‍යොක්ති ද අවබෝධ කර ගත යුතු වෙයි. හුදෙක් වච‍නයෙන් වචනය සිංහලට පෙරළීමෙන් කාව්‍යොක්තිය මතු කළ නො හැකි ය. කව්‍යොක්තිය ග්‍රහණය කර ගෙන එය සිංහල වචනවලින් ඉදිරිපත් කළ යුතු වන්නේ ය. මේ අනුව පද්‍ය පරිවර්තනයේ අසීරු බව කාහටත් වැටහෙනු ඇත.

මාධව වෛද්‍යරත්නගේ උත්සාහය අගය කළ යුතු වන්නේ මෙවන් අභියෝගාත්මක කාර්යයක් මැනැවින් ඉටුකර ඇති හෙයිනි. බෙහෙවින් භාවාත්මක අදහස් ගැබ් කර ගත් ගීතාංජලිය මැනැවින් සිංහලට පෙරළීම අසීරු කාර්යයකි. මුළු කෘතිය ම පෙරළීමට උත්සාහ නොකොට කොටසක් පමණක් තෝරා ගැනීමට ද එය හේතු විය හැකි ය. කෙසේ හෝ අප පාඨකයන්ට වඩාත් ප්‍රයෝජන වූත් ආස්වාදනීය වූත් පද්‍ය තිස් හතරක් පමණක් පරිවර්තකයා ගේ අවධානයට යොමු වී ඇත.

ස්වකීය පරිවර්තන කාර්යයේදී මුලින්ම කාව්‍යොක්තිය මැනවින් වටහා ගෙන දෙවනුව එය සිංහලයෙන් ඉදිරිපත් කිරීම මාධවගේ ක්‍රියා පිළිවෙළ විනැ යි සිතමි. පරිවර්තනය යන වචනය වෙනුවට සිංහල ප්‍රතිරචනය යන වචනය යොදා ඇත්තේ ද එනිසා විය යුතුයි.

මාධව සිය ප්‍රතිරචනය සඳහා ඉතා සුදුසු ආකෘතියක් තෝරා ගෙන ඇත. නිදහස් කවි ආකෘතියක් වන මෙය සියලු පද්‍යවල ම පාහේ වැඩි වෙනසකින් තොර ව සමබර ව දක්නට ලැබේ. උත්තම පුරුෂ කථනයෙන් කියැවෙන අදහස් මාලාව සඳහා මෙය වඩාත් උචිත ආකෘතියක් බව පෙනී යයි.

තාගෝර් කිවිඳුන්ගේ ගීතාංජලියේ ගැබ් වන අත්දැකිම්වල ද සුවි‍ශේෂක් ඇත. ඒවා විචාරකයින් විසින් නොයෙක් අයුරින් හඳුන්වා තිබේ. තමා අවටැති ලෝකය සෞන්දර්යය ඇසුරින් ග්‍රහණය කර ගැනීමට දරන උත්සාහයක් බොහෝ විට මෙහි දක්නට ඇත. මෙවන් අනුභූති සිංහල පාඨකයින්ට ඇතැම් විට නුහුරු විය හැකිය. සෞන්දර්යය අමතා අදහස් ප්‍රකාශනයට කොළඹ යුගයේ ඇතැම් කවීන් ද උත්සාහ කර ඇති නමුත් ඊට වඩා පිරිපුන් ලක්ෂණ මේ පද්‍ය තුළ දක්නට ලැබේ. මාධවගේ උත්සාහය නිසා මේ නවතම අත්දැකිම් ග්‍රහණය කර ගැනීමට පාඨකයින්ට අවස්ථාව සැලසී තිබේ.

තාගෝර්ගේ අත්දැකීම් සුවිශදව ප්‍රකාශ කිරීම සඳහා මාධව යොදා ඇති බස් වහර ගැන බෙහෙවින් ප්‍රශංසා කළ හැකිය. අත්දැකීම් ගැනත් භාෂාව ගැනත් හොද නිදසුනක් වශයෙන් ගීතාංජලී පරිවර්තනයේ 5 වැනි කවියෙන් කොටසක් උපුටා දක්විමි.

නවතන්න... යාතිකා...!
නවතන්න... ගීතිකා...!
මේ පාලු දෙවොල තුළ වැදී
දොරගුළු වසා සිරකොට
හුදෙකලා - අඳුරු කොනකට වී
පුදනුයේ
කවරකුද ඔබ... ?

දෑස් හැර දකිනු මැන
දෙවිඳු ඔබ අබියස නොමැති වග..!
ඔහු සිටී...! ගොවියා,
තුමුල් පස් පිඬු බෙරළනා තැන
ඔහු සිටී...! මං තනන්නා
විසල් ගල් කුළු බිඳ හෙලන තැන.

වරෙක සැඬ හිරු කිරණ සේ
වරෙක සිහිලැලි සිරි පොදක් සේ
දූලි ගත දවටාගෙන
ඔහු සිටී ඔවුන් කැටිව ම

පැරණි පැදි බසෙන් මෙන්ම ගැදි බසෙන් ද නොමද ආභාසයක් ලබමින් ඔහු සකසා ගන්නා භාෂා ව්‍යවහාරය මෙවන් කෘතියක ආලෝකය පිණිස හේතු වන බව කිය යුතුය. වීශ්ව විද්‍යාලයේ විද්‍යා විෂයයන් හදාරන මාධව මෙතරම් අපූරු ලෙස සාහිත්‍ය භාෂාව පරිහරණය කරනු දැකීම සතුටට හේතුවකි.

ගීතාංජලියේ ඉතිරි පද ද මේ අයුරින් පරිවර්තනය කොට පළ කිරීමට අවශ්‍ය ධෛර්යය ඔහුට නොමඳව ලැබේවා යි පතමි.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ 
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහලාංශයේ කථිකාචාර්ය

සිළුමිණ (පත පොත)
______________________________________________________________

“ගීතාංජලියේ මියුරු පද අතරින් මාධව වෛද්‍යරත්න තුරුණු කවියා ගේ වෙසෙස් කව් සපුව මම මැනවින් දකිමි.”

රවින්ද්‍රනාත් තාගෝර්ගේ විශ්ව කීර්තියට පත් “ගීතාංජලී” කාව්‍ය සංග්‍රහයේ කවි තිස් හතරක් සිංහලයට පෙරළා එනමින්ම පළ කෙරුණු මාධව වෛද්‍යරත්නගේ කෘතියෙහි පසු පිට කවරයට අමරදේවයන් විසින් සපයන ලද පසු වදනෙහි මුල් වැකිය එසේ ගෙන හැර පෑවෙමි. මාධව සිය කුළුඳුල් ප්‍රතිනිර්මාණයෙන් ම, සිය කාව්‍යමය හැකියාවන් මනාව පිළිබිඹු කොට ඇති බැව් නිසැකය. ඔහුගේ භාෂාව වෙසෙසින් ම ප්‍රාණවත් ය. හරවත් ය, එමෙන් ම කාව්‍යම ය.

“සුපුෂ්පිත වූ වේදනාවේ
රත් නෙළුම් මත ඉසුණ
කඳුළු බිඳුවක් කැටිව
නිසසලව හිඳිනා සොම්බනට,”
(21 වන කව)

තාගෝර් කවියා ගේ නිර්මාණය එහි අඩංගු වූ අරුත නොකෙළසා යළි නිර්මාණය කිරීමේදී, මාධව සංයමයකින් යුතුව බස හැසිරවූ බවට ඒ කෙටි නිදසුනකි.

මේ කෙටි නිර්මාණ එකතුව මේ යුගයේ වැදගත් වනුයේ එනිසාම නො වේ යයි කිව යුතුය. මේ යුගය අපගේ දැකුම වඩ වඩාත් පටු වූ, වඩ වඩාත් ජාතික - කේන්ද්‍රීය මතවාදයකට කෙම් බිමක් වූ යුගයෙකි. අපගේ වෙරළින් ඔබ්බෙහි ඇති සියල්ල පරයනට යෝග්‍ය, අපට අයෝග්‍ය දෑ ලෙසින් සැළකෙන යුගයෙකි. එවන් යුගයක, මාධව වෛද්‍යරත්න ‍විසින් එළි දක්වන ලද රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ගීතාංජලී” කව් සරණියේ සිංහල ප්‍රතිරචනය අප තුරුණු කවි - කිවිදියනට විසල් මානයන් ලබා දීමට බෙහෙවින් ඉවහල් වේ යැයි කිව යුතු ය.

අප වෙරළ ඔබ්බෙන්, වෙසෙයින් පොහොසත් නිර්මාණ ලෝකයකට ඔවුන් කැඳවා යන්නට මාධව ගෙන ඇති උත්සාහය අගය කරනුයේ ඒ තේරුමෙන් ද ය. තාගෝර්ගේ “ගීතාංජලීයෙන්” මාධව තෝරාගෙන ඇති කවි තිස් හතර කියවූ සැනෙන් ඔහු සිය පෙරවදනෙහි “නිශ්චිතාර්ථය” පිළිබඳව කර ඇති සඳහන ගැන මෙහි කිසිවක් සනිටුහන් කිරීමට මැලිවෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව, මෙහි මුඛ්‍යාර්ථය එය නොවන නිසාය. එහෙත්, ගීතාංජලීයේ සිංහල ප්‍රතිරචනය කියවන පාඨකයිනට ඒ ගැන සිතා බැලීමට පමණක් එය මෙහි දැවටූයෙමි. අවසන් වශයෙන් කිව යුත්තේ, මාධව වෛද්‍යරත්න විවර කළ නිම් වළළු අනෙකුත් තරුණ කවි කිවිඳියනට රස මුසු බොජුනක් විය යුතු බව ය.

අසෝක කාරියවසම්
විවරණ (පොත්පත් විවරණ)

1 comment: