හැඳින්වීම - කිවියර රත්න ශ්‍රී විජේසිංහ

තාගෝර් කවියා සහ ගීතාංජලිය

සිසිරයේ සුළඟ පිනි බිඳු වගුරුවමින් අතු පතරින් ඇදී යමින් තිබිණි. රුක් සෙවණ යට එළිමහනේ සෞන්දර්යකාමීහු ගැවසෙමින් සිටිය හ. පෙනෙන තෙක් මානයේ පැතිර තිබුනේ මැටියෙන් ඉදි කළ පැල්පත් කිපයක් හා ගඩොළු ගෙවල් කිහිපයක් පමණි. පාවහන් නො ලෑ නිරාවරණ දෙපා ඇති ගුරුවරු හා සිසුහු මේ ජගත් මාතා සෞන්දර්යයේ නිජ බිම අතුළත සිය ජීවන සුන්දරත්වය හා ඥානය ගවේෂණයේ යෙදී සිටිය හ.

මේ ශාන්ති නිකේතන ආශ්‍රමය යි.

විද්‍යාර්ථීන් සෞන්දරය කාමින් හා කලාකරුවන් යාන්ත්‍රික හා ඒකාකාරී වූ අධ්‍යාපනයෙන් මුදවා ගෙන ස්වභාව ධර්මය වන පොත් කිරීමට ඉඩ සලසනු වස් බිහි කළ මේ ශාන්ති නිකේතනයේ නිර්මාතෘවරයා වූයේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් ය. “විශ්ව භාරතී” නම් ශ්‍රේෂ්ඨ විද්‍යස්ථානය ද ඔහුගේ නිර්මාණයක් සේම සොඳුරු අරුතින් පිරිපුන් විය.

1861 මැයි 07 දා, බෙංගාලි වහරින් කියනවා නම් වෛශාක් 25දා, උතුරු කල්කටාවේ දවර්කනාත් තාගෝර් පටු මා‍වතේ පිහිටි ජොරසන්තෝ හි තාගෝර් වරුන් ගේ මහ ගෙදර බිළි‍ඳෙක් ඉපදිණ. රවින්ද්‍රනාත් නම් වුයේ ඔහු යි. අක්කර තුන හමාරක පමණ බිම් ප්‍රදේශ‍යක් වසා පිහිටි දැවැන්ත තෙ මහල් නිවාසයේ, වැඩිමහල් සහෝදර සහෝදරියන් දහ තුන් දෙනකු හා බාල සොහොයුරකු ද සමඟ රවින්ද්‍රනාත් වැඩුණේ ය. එම විශාල ගෘහය සැබැවින් මහා කලාගාරයක් විය. සංගීත රාවය නිබඳ ව එහි පිළිරැව් දිණි. මේ ගෘහයේ මූලිකයා වූයේ “මහර්ෂි” යන අපර නාමයෙන් හැඳින්වුණු දේවේන්ද්‍රනාත් තාගෝර් තුමා ය. රවීන්ද්‍රනාථයන්ගේ පියා වූයේ ඔහු ය. දවර්කනාත් කුමාරයා නමින් හැඳින්වුණු රවීන්ද්‍රනාථයන්ගේ සීයා මේ මහා ධනස්කන්දයේ මුල් ම හිමි කරුවා විය. පිරලි නමැති බ්‍රාහ්මණ වංශිකයන් වූ ඔවුනට මහන්ත ජමින්දාරයක් පවා හිමිව තිබිණි.

රවීන්ද්‍රනාත් තාගෝර් තුමා මහ මැදුරක උපන්න ද, ස්වභාව ධර්මයට දැඩි ව පෙම් කළ ජගත් ප්‍රකෘතිය තුළ ම ජීවත් වූ උතුම් මිනිසෙක් විය. සොබා දහමේ රිද්මය ඔහු ගේ බොහෝ නිර්මාණ වල සටහන් ව ඇත්තේ එබැවිණි. සුප්‍රකට ගංගා නදිය නැගෙනහිර දෙසට ගලා යද්දී පද්මා නමින් එය හැඳින්වෙයි. එම පද්මා නදියෙහි තැනූ ඔරුවක් සිය නිවහන කර ගනිමින්, මාස ගණන් එක දිගට එහි ගත කිරීම මේ මහා කවියා පුරුද්දක් කොට ගෙන තිබිණි. 1890-1900 අතර කාලය මේ ඔරු නිවාසයේ ගත කරද්දි ය, තාගෝර් තුමා ස්වකීය දේශයේ සාමාන්‍ය ජනතාව ගේ දුක් මුසු ජීවිතයත්, වීදිවල දූලි ගාගෙන කෙළි සෙල්ලම් කරන දරුවන් ගේ සිහිනත් හඳුනා ගත්තේ.

කෙමෙන් මහ කවියකු, චින්තකයකු, සංගීතඥයකු හා චිත්‍ර ශිල්පියකු බවට වර්ධනය වූ තාගෝර් තුමා තව දුරටත් බෙංගාලයට හෝ භාරතයට හෝ පමණක් අයත් පුද්ගලයෙක් නොවී ය. ඔහු ලෝකයට ම අයත් මහා පුරුෂයෙක් විය. ලෝකයේ සිවු දෙසින් හමා එන සුළඟට විවර කළා වූ මනින්ද්‍රීය කවුළු පියන් පත් ඇති මේ මහා කලා කරුවා ඒ සුළඟින් තමා ගසා ගෙන යන්නට ඉඩ හළේ නැත. ඔහු කළේ ඒ සුළඟ තම නිර්මාණාත්මක චින්තනයට උත්තේජයක් කොට ගැනීම යි. බටහිරින් ලද චින්තන නිදහස මෙන් ම නවීන විද්‍යාත්මක චින්තනයේ මහිමයට ද ඔහු හිස නැමුවේ ය. ඔහු භාරතයට කොටු නොවී සිය ජීවිත කාලය තුළ දී දොළොස් වරක් ම ‍විදේශ සංචාරයන් හි යෙදුනේ එ බැවිනි.

1912 දී එංගලන්තය බලා ගිය තාගෝර් තුමාට සුප්‍රකට ඉංග්‍රීසි ලේඛකයින්, කවීන් සහ චිත්‍ර ශිල්පීන් කිහිප දෙනකු ම මුණ ගැසිණි. චිත්‍ර ශිල්පී රොතන්සිටින් හා ඩබ්.බී.යේට්ස් කවියා ඔහුට බෙහෙවින් ආදරය කළ දෙදෙනෙකි. 1913 දී පමණ තාගෝර් ගේ ගීතාංජලී කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය වී, නොබෙල් සම්මානයෙන් පිදුම් ලබන්නට ඔහුට හේතු වූයේ ද මේ විදෙස් ගමන යි.

තාගෝර් කවියා තම සෞන්දර්ය චාරිකාව ඇරඹුවේ යන්තම් පහළොස් හැවිරිදි වියේ දී ය. ඔහුගේ වැඩිමහලු සොහොයුරන් විසින් සංවිධානය කර තිබුණු “හින්දි මේලා” නම් ජාතික උත්සවයක දී ‍තාගෝර් ජාත්‍යානුරාගී කවි ගායනයක යෙදිණි. ඒ කවි රචනා කළේ ද ඔහු ය.

එවකට ඔහු දිග කවි පෙළක්ද “මනපුල්” නම් කවි කතාවක් ද, “භානු සිංගර් පාදාවලිෟ නම් භාව ගීතයක් ද ලියා තිබිණි. ඒ කවි ලියුවේ මෙතරම් බාල වියේ සිටි කෙනකු බව බොහෝ දෙනකු ඇදහුවේ නැත. දා හත් වන වියේ දී තාගෝර් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යවනු ලැබූ නමුත් 1880 දී නැවත ඔහු ගෙදර කැඳවා ගනු ලැබිණි. “වාල්මිකී ප්‍රතිභා” නම් ගීත නාටකය ඔහු ලීවේ ඒ ගෙදර පැමිණි ගමනේ දි ය. නැවත විදෙස් ගත වන්නට අකමැති වූ ඔහු තුළ නිදා හුන් ප්‍රතිභා පූර්න කවියා අවද ව සීඝ්‍රයෙන් ක්‍රියාකාරී වන්නට වුයේ එතැන් පටන් ය.

සන්ධ්‍යාගීත්, ප්‍රභාත්ගීත් නමින් කාව්‍ය ග්‍රන්ථ දෙකක් ලියූ තාගෝර් අනතුරුව “නිර්ක්ධරා ස්වප්න භෘංග” නමින් තවත් කාව්‍යයක් රචනා කළේ ය. එහි අදහස “උල්පත පිබිදෙයි” යන්න යි. සැබැවින් ම එතැන් සිට ඔහුගේ නිර්මල චින්තන ධාරා උල්පත පිබිදෙන්නට වණ.

තාගෝර් මහ කවියා විශිෂ්ඨ කලාකරුවකු වුව ද ළමයකු මෙන් සියුමැලි සංවේදී සිතැත්තෙක් විය. ළමුන් උදෙසා ඔහු ලියු බොහෝ කවි ගී වලින් ඒ බැව් පෙනේ. බිශ්නි පර්ගේ, නපුර් තුපුර්, ශිශු, ශිශු බෝලනාත්, වැනි කවිත් රාජර්ෂි නම් ළමා කතාවත් ඔහු ලියුයේ ළමුන් උදෙසා ම ය. “කබිලි වාලා” නම් සුප්‍රකට කෙටි කතාව මඟින් ද ප්‍රකට වන්නේ ළමා අධ්‍යාත්මයෙහි නිර්මලත්වය යි.

පුරා වසර 70 තිස්සේ ම නොකඩවා ලිවීමෙහි යෙදුණු මේ මහා කවියා අතින් ලියැවුණු පොත් පත් කථා ප්‍රමාණය තුන්සියයකට අධික ය. කාව්‍ය නාට්‍ය, කෙටිකතා, නවකතා, විචාර, සංචාරක සටහන්, මෙන්ම ආගම අධ්‍යපනය සහ දේශපාලනය ආදී විෂයයන් ගැන ලියවුණ පොත් පත් ද ඒ අතර වේ. ඒ හැරුණු විට ගීත නාටක ගී දහසකට වැඩි ප්‍රමාණයක් ඔහු අතින් ලියැවී තිබේ. එතුමා ගේ අවසන් කවිය ලියැවුනේ 1941 ජුලි 30 දා - එනම් මිය යන්නට දින අටකට පෙර දී ය.

තාගෝර් මහා කවියා සැබැවින් ම අංග සම්පූර්ණ කලා කරුවෙක් විය. ඔහු චිත්‍ර ශිල්පයෙහි දැක් වූ දස්කම ද අනිවාර්යයෙන් ම ඊට එකතු විය යුතු වේ. ඔහු චිත්‍ර අඳින්නට පටන් ගත්තේ 1927 දී පමණ වුව ද, අඳින ලද චිත්‍ර සංඛ්‍යාව දෙදහසකට වැඩි ය. ‍එහෙත් මේ නිහතමානී කලාකරුවා තමා චිත්‍ර ශිල්පයෙහි දක්ෂයකු ලෙස සැලකීමට මැළි විය. ඔහු නිහතමානී ව කියා සිටියේ, තමා නන්ද ලාල් බෝස් සහ අබනින්දනාත් තාගෝර් මෙන් චිත්‍ර අඳින්නට පුහුණු නොවූ බව යි. එහෙත් ඔහු ඇඳි භූමි දර්ශන, මිනිස් මුහුනු, පික්ෂීන් හා සතුන් ඔහුට ම විශේෂ වන රිද්මයකින් ඒ චිත්‍ර වල පිළිබිඹු විය. සැබැවින් ම ඔහු ගේ භූමි දර්ශනය වූයේ මුළු මහත් භාරතය යි.

අධ්‍යාපනයේ පූර්ණ නිදහස හා දේශීයත්වය පිළිබඳ තාගෝර් තුමා දැරූ අදහස්, ක්‍රියාත්මක කරනු සඳහාය, 1901 දී ඔහු විසින් ශාන්ති නිකේතනය අරඹන ලද්දේ. නොබෙල් ත්‍යාගයෙන් ලද මුදල ද මුළුමනින් ම කැප කරන ලද්දේ මේ විද්‍යස්ථානයේ දියුණුව වෙනුවෙනි. මනුෂ්‍ය වර්ගයාගේ එකමිතිය පිළිබඳ ව ඔහු තුළ පැවතුණු උත්තර අධ්‍යාශය පණගන්වනු සඳහා 1921 දී ශාන්ති නිකේතනය ආශ්‍රිත ව “විශ්ව භාරති” ය සැබැවින් ම ලෝකය එක ම කැදැල්ලක් බවට පත් කළ තැනක් විය.

තාගෝර් මහ කවියා ගේ චින්තනයෙහි සහ කලාවෙහි අනුහස අසල්වැසි ශ්‍රී ලංකාවට ද දායාද වශයෙන් ලැබිණි. “හොරණ ශ්‍රී පාලිය” එහි එක් ප්‍රතිඵලය කි. එය පිහිටුවාලීමට ශ්‍රී ලංකාවට ආ ගමනේ දී තාගෝර් තුමා, නොසලකා හැර තිබූ අපේ දේශීය කලාවෙහි මහිමය පිරිසිඳ දුටුවේ ය. ලංකාවේ ජාතික නිදහස් සටන් ව්‍යාපාරයෙන් ජන සාහිත්‍යය හා සහ කලාව එවකට සැබැවින් ම වියෝ වී තිබිණි. නැටුම් උගන්නට භාරතයට යන ගමන නවතා අපේ පාසල් හි උඩරට නැටුම් ඉගැන්වෙන්නට පටන් ගත්තේ ඒ අවබෝධය ලැබීමත් සමඟ ය.

ස්වකීය දේශයේ සාම්ප්‍රදායික චින්තනය මත දෙපා තබා සිට තමා ගේ නව කල්පනා උල්පත පුබුදු කළ මේ මහා කවියා කිසි විටෙකත් තම රටේ ජාතික නිදහස් සටනින් බැහැර වී සිටියේ නැත. 1889 දී සම්මත වූ කුමන්ත්‍රණ පනත පිළිබඳ ව කල්කටා නගර ශාලාවේ පැවැත්වුණු රැස්වීමේ දී ඔහු ඊට තමා ගේ දැඩි විරෝධතාව ප්‍රකාශ කොට සිටියේ ය. ඉන් පසු, බාල් ගංගාධාර තිලක් සිර ගත කළ අවස්ථාවේදී ද මේ මහා කවියා උද්ඝෝෂණ ව්‍යාපාර වලට හවුල් විය. 1905 දී කර්සන් සාමි වරයා බෙංගාලය දෙ කඩ කළ අවස්ථාවේ, රට එකමුතු කිරීමේ ව්‍යාපාරයට හවුල් ව කටයුතු කළ තාගෝර් එහි පෙරමුණේ සිටියේ ය. ඔහු මහත් කම්පාවට පත් වූයේ 1931 දී මහත්මා ගාන්ධි අත් අඩංගු වට ගත් වෙලේ ය. තමා ගේ 70 වන ජන්මෝත්සවය පැවැත්වීම ද නතර කර දමන්නට කවියා තීරණය කළේ එබැවිනි.

තාගෝර් තුමා පිළිබඳව ශ්‍රී නේරු කීවේ මෙ සේ ය:

“ජීවතයේ විශිෂ්ට වූ ද, උදාර වූ ද අංග කෙරෙහි අපේ සිත් යොමු කරමින් පුද්ගලයිනුත්, ජාතීනුත් වැටෙන වළවල් පල අපට වැටෙන්නට ඉඩ නොදී ඔහු අපට මඟ පෙන්වන ආලෝක ධාරාවක් විය.”

+         +        +

රවීන්ද්‍රනාත් තාගෝර් කවියා ගේ “ගීතාංජලිය” නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථම ආසියාතික සාහිත්‍ය කෘතිය යි. එය 1913 දී ඉංග්‍රීසියට නගන ලද්දේ කවියා ම විසිනි. කාව්‍යොක්ති අන් බසකට නැගිය නො හැකිය යන අභියෝගය එක්තරා ප්‍රමාණයකින් ජය ගන්නට ඒ නිසා ඔහුට හැකි විය. එම ඉංග්‍රීසි පරිවර්තනයට පෙර වදන ලියුවේ සුප්‍රකට ඉංග්‍රීසි කිවියර ඩබ්. බී. යේට්ස් ය.

තාගෝරයන් ගේ චින්තනයේ අභාසය කොළඹ යුගයේ කවීන් කිහිප දෙනෙකු ම ලබා තිබිණි. ශාන්ති නිකේතනයෙහි විද්‍යාර්ථියකු වූ කේයස් මෙන් ම අල්විස් පෙරේරා ද, විමලරත්න කුමාරගම ද තම කවියට තාගෝර් ගේ කල්පනාවෙන් ලද ප්‍රභාව ප්‍රකට ය. Hungry Stones & Other Stories නම් තාගෝර් ගේ කෘතියේ Home Coming නම් කතා පුවත ඇසුරෙන් කුමාරගම ගේ “සපුමලී” රචනා වී ඇති බවත් “උපගුප්ත” ඇසුරෙන් අල්විස් පෙරේරා ගේ “අභිචාරිකාව” රචනා වී ඇති බවත් විචාරක මතය යි. මහගම සේකර ගේ ගීත රචනා කිහිපයකට ද තාගෝර් ගේ කවි ආශ්‍රය වී ඇත.

“ගීතාංජලී” භක්ති කාව්‍යයක් ලෙස බොහෝ විචාරකයන් සලකන බැව් පෙනේ. ඉංග්‍රීසියට නැගුණු ගීතාංජලියේ “දේව පිළිඹුවක්” දැකීම දේව වාදී පද නමක ගොඩ නැගුණු බටහිර සමාජයට සුහද අත් දැකීමක් වූවා විය හැකිය. එම පිළිබිඹුව විසින් ම නොබෙල් ත්‍යාගය තාගෝර් ගේ දෝතෙහි තැබුවා ද විය හැකි ය. එහෙත් “ගීතාංජලිය” දේවාභාවාදනයක් ම පමණකැයි සිතන්නට අපට, එහි අන්තර්ගතය අනුබල නො දෙයි. “ඔබ” යනුවෙන් කවියා අමතන්නේ දෙවියන්ට ම විය හැකි ද? “වෙහෙසී වැඩ කරන මිනිසුන් දහඩිය හෙළන තැන පමණක් දෙවියන් සිටිතැයි” කවියා අවධාරණයෙන් කියන්නේ ඇයි? “ඔබ සිටිතැයි” කො කියන්නේ ඇයි?

“ඔබ” යනුවෙන් කවියා අමතන්නේ ප්‍රකෘතිය යි. සෞන්දර්වයෙහි ප්‍රභවය යි. එය සගුණ - නිර්කුණ දේව භක්තිය සේ ගත්ත ද ඉන් බරපතල හානි පැමිණෙතැයි නො සිතේ. මක්නිසාද, සත් භාවයත් මනුෂ්‍යත්වයත් නැංවීමේ පරමාර්ථ උත්තම කලා කෘතියකින් උදුරා ගත නො හැකි බැවිනි. නිර්මාණ වාදය පිළිබඳ මතාන්තර නිශේධ කිරී‍මක් ගැන කථා කිරීම අනවශ්‍ය වන්නේ, ගීතාංජලියේ නිර්මාණ ලෝකය කාව්‍යමය කල්පිතයක් වශයෙන් ම පරමාදර්ශී කලාවට සේවය කරන බැවිනි. එහෙත් යථාර්ථවාදී සාහිත්‍ය කරුවන් ගේ මාර්ගය ශ්‍රේෂිඨ වූ පමණින් ගීතාංජලිය එයට ඇතුළත් කරන්නට අනවශ්‍ය උත්සාහයක් දැරිය යුතු නැත.

ගීතාංජලී කෘතිය මෙ සේ සිංහලයට නැගෙන්නේ මුල් වරට නො වේ. ‍එහෙත් ගීතාංජලියේ කාව්‍යමය ස්වරූපය රැක ගනිමින් කාව්‍යේක්තියන් හි රම්‍යතාව පළුදු නො කොට එය සිංහලයට නැගෙන පළමු වර මේ බැව් කීමෙහි වරදක් ඇතැයි නො සිතේ.

තුන්වන ලෝකයේ විශිෂ්ඨ කෙටි කතා කරුවන් ගේ කෘති කිහිපයක් ම මැනවින් සිංහලයට නැඟූ මාධව වෛද්‍යරත්න, කාව්‍ය නිර්මාණයෙහි ද බුහුටි කම් ඇත්තෙකි. තාගෝර් කවියාගේ සූක්ෂමාත්මය සමග සමාරෝපය වන්නට මාධව බෙහෙවින් උත්සාහ දරන බව පෙනේ.

මාධව, ගීතාංජලිය සිංහලයට නගන්නේ පදානුපදිකව නො වේ; සමස්ත කාව්‍යෝක්තිය සැලකිල්ලට ගනිමිනි. කවියාගේ අධ්‍යාත්මික හා සෞන්දර්ය රීතියට ඇතුළු වන්නට මාධවට බොහෝ විට හැකි වන බව පෙනේ. බැලුව මැනවි;

බොඳව යන
ශරත් වලා රැල්ලෙක අද්දර
තැවරුණ චන්ද්‍ර ලේඛාවෙක
සුහුඹුල් හෙල් මැලි රැස් රැහැන් පට -

තාගෝර් කවියා ගේ ප්‍රකාශන රීතිය ගොඩ නැගෙන්නේ සකු අලංකාර වාදය අනුගත ව නො වේ. සරළ - සුන්දර ඉන්ද්‍රිය රූප ඇසුරෙනි. මාධව මැනවින් එය ග්‍රහණය කර ගන්නේ මෙ සේ ය;

ඇවිද ගියෙමි ‍මම අසරක් නො දැන
ගමින් ගම විජිතයෙන් විජිතය
ඈ හදවත තුළ හොවාගෙන.
ඈ වටා ගෙතුම් විය, ජී‍විතේ
පුර පස ද
අව පස ද
පහන් වි බැස යනෙන රිද්මය -

එහෙත් තාගෝර් කවියා ගේ ඇතැම් අරුතක් සපුරා පළ කරන්නට සමත් භාෂා ප්‍රකරණයක් යොදා ගන්නට මාධවට නො හැකි වන අවස්ථා ද දක්නට ලැබේ.

බියෙන් සැකෙන් තොර
සිතක් පවතිනුයේ කොතැනක ද?
නො බියව හිස ඔසවා
සිටිනු හැකි කොතැනක ද?


සකු වදන් ඇසුරු කරන ශබ්දාලංකාරයක් පතා සිටින කෙබඳු තැන් පදානුපදික පරිවර්තනයකට හසු කර ගත නොහැකිය.

එවන් නිදහසේ සුර විමනක් ලෙසට පියාණෙනි’යි මාධව ඔහු ගේ වචනයට නගන්නේ කලකට පෙර මහගම සේකර ‘ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට’ යනුවෙන් අරුත් ගැන් වූ කාව්‍ය ඛණ්ඩය ම බව පාඨකයා සසඳනු ඇත.

එහෙත් තාගෝර් කවියාගේ දාර්ශනික සෞන්දර්යය කියන විට මාධව ගේ භාෂා නිපුණතා ඉස්මතු වනු පෙනෙයි.

අතුරවා ස්වප්නයේ ඇතිරිලි
හොවා සුව නින්දෙක ලොවම
වසා ලනු මැන සෙමෙන්
සවස පර වූ රත් නෙළුම් පෙති.

එසේම කවියාගේ පරමාර්ථ පුරණය කරමින් සුදුසු සේ පද යෝජනයට ද මාධව සමත් වෙයි.

‍නෙතු පියාගෙන සිටි හිමිදිරිය අද
මුර ගාන පෙරදිග සුළං රැළි
නො තකමින් නොබලමින්
වසා ගෙන ඝන රුවල් පටෙකින්
සදා පිබිදුණු නිල් අහස් කුස. –

ගීතාංජලී ඔහුගේ කවි බසට නගමින් මාධව වෛද්‍යරත්න යෙදෙන මේ සාහිත්‍ය මෙහෙ‍වරෙහි ඉඳුරා නෙළා ගත හැකි ඵලයක් නැති සේ ඇතැමකු දකිනු ඇත. මේ ඇවිලගත් ලෝකයට ඉන් බෙහෙත් ඖෂධ නො ගෙනෙතත්, වඩාත් යහපත් ජීවිතයක් සොයා යන මිනිසා ගේ පරමාදර්ශී ලෝකයට අවශ්‍ය භාවමය සම්පත් ඉන් සැපයෙන වග නම් අවිවාදිත ය.

රත්න ශ්‍රී විජේසිංහ

1989.03.18















1 comment: