Thursday, June 18, 2015

ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය

ප්‍රගීතය.!
මා ගයන්නට රැගෙන ආ,
ගොළුව නිහඬව ඇත
අද වන තුරු ද

වෙණ තත් සිඳිමින් ද
යළි යළිත් සදමින් ද
ගෙවා ඇත මා දින ගණන්

සුදුසු කාලය මෙතුවක්
සැබෑවක් නොම විය,
වදන් වැල් නිසි ලෙස
බැඳී ගැලපී නොමැත.
අහිමි පැතුමක අමිහිර පමණක්
වෙලී පැටැලී රැඳී ඇත හද

රන් නෙළුම තවමත්
විකසිතව විවරව නොමැත
ඇසෙනුයේ සුළ‍‍ඟේ සුසුම් හඬ
පමණෙකි

නො දැකීමි මම ඔහුගෙ රුව
නො ඇසීමි මම ඔහුගෙ හඬ
එහෙත් ඇසීමි
දෙපා ගැටෙනා මුදු හඬ පමණක්
නිවහන අබියස මාවතෙන් නැගෙනා

දිගාසිරි ලද දිවා මහිමය පලා යයි
පොළෝ තල මත විදා හළ
තුඟු අසුන් පණවමින්
නමුදු දල්වා නොමැත පහනක්
කැඳවනු පිණිස නිවහන තුළට ඔබ

ජීවත් ‍වන්නෙමි හද තුළ දරමින්
ඔබ හමුවීමේ ප්‍රාර්ථනය පමණක්
එ නමුදු ඒ හමුව
නොමැත තවමත් ඉටුව


__________________________________________________________________

The song that I came to sing remains unsung to this day. I have spent my days in stringing and in unstringing my instrument. The time has not come true, the words have not been rightly set; only there is the agony of wishing in my heart. The blossom has not opened; only the wind is sighing by. I have not seen his face, nor have I listened to his voice; only I have heard his gentle footsteps from the road before my house. The livelong day has passed in spreading his seat on the floor; but the lamp has not been lit and I cannot ask him into my house. I live in the hope of meeting with him; but this meeting is not yet.

Tuesday, April 14, 2015

ඔබ වෙත ම ළං වනු පිණිස ගෙවන දුර | දොළොස් වන ගීය

කල් ගත වීය බෝ
මඟ ද දිගු වේ
මා චාරිකාවේ

පැමිණියෙමි, රිය මත නැඟී
ප්‍රථම රැස් පොකුරේ.
යාත්‍රා කළෙමි,
සුවහසක් ලෝකයන් ගෙන්
වල් වැදුණු විශ්වය තුළ,
බොහෝ තරු කැට-ග්‍රහ මඩුලු මත
මං ලකුණු තබමින්.

ඔබ වෙත ම ළං වනු පිණිස
ගෙවන දුර ඔබ
මඟ වේ ලොවැ දිගුම!
සරලතම ස්වර රටාවක්
තොල මැතුරුමට කරන පුහුණුව
පුහුණුවයි ලොවැ දැඩිම!

තමන්ගේ දොරකඩ වෙතට
එළැ‍ඹෙනු පෙරාතුව 
යාත්‍රිකයාට
සිදුවේ සන් කරන්නට
බැහැර වූ අන් සියලු දොර පියන් මත!

තමා අබතුරෙහි පුදසුන වෙත
එළැඹෙනු පෙරාතුව අයකුට
සිදු වේ සරන්නට
බැහැර වූ අන් සියලු ලෝ තුළ!

නෙතු පියන් තද කොට වසා
“මෙතැන ඔබ වේ...” යැයි
හඬ නඟා කියන්නට පෙරාතුව
මගේ නෙත් සැරි සැරී
නිම් වළලු පියමං කොට.

“අනේ... කොතැනකද? යැයි
හැඬැවෙන පැණය අවසන
දියව ගොස් සහසක්
කඳුළු දිය කඳුරු විලසින
“හිඳිමි 
මම මෙතැන... ” යන

මහෝඝය විත් තිරසර
ගිල ගනී මුළු ලොවම
__________________________________________________________________

The time that my journey takes is long and the way of it long. I came out on the chariot of the first gleam of light, and pursued my voyage through the wildernesses of worlds leaving my track on many a star and planet. It is the most distant course that comes nearest to thyself, and that training is the most intricate which leads to the utter simplicity of a tune. The traveller has to knock at every alien door to come to his own, and one has to wander through all the outer worlds to reach the innermost shrine at the end. My eyes strayed far and wide before I shut them and said `Here art thou!' The question and the cry `Oh, where?' melt into tears of a thousand streams and deluge the world with the flood of the assurance `I am!'

Friday, April 03, 2015

කොතැන දෙවිඳුන් වැඩ වෙසෙන්නේ? | එකොළොස්වන ගීය

නවතන්න යාතිකා!
නවතන්න නව ගුණ 

ගීතිකා!
වැදී මේ පාලු දෙවොල තුළ
දොරගුළු වසා සිරකොට
අඳුරු කොනකට වී හුදෙකලා
පුදනුයේ කවරකුද ඔබ?
දෑස් හැර දකිනු මැන
දෙවිඳු ඔබ අබියස නොමැති වග!

සිටී ඔහු! ගොවියා
තුමුල් පස් පිඬු පෙරළනා තැන
සිටී ඔහු! මං තනන්නා
විසල් ගල් කුළු බිඳ හෙලන තැන

වරෙක සැඬ හිරු කිරණ සේ
වරෙක සිහිලැල් සිරි පොදක් සේ
දූලි ගත දවටාගෙන
සිටී ඔහු, ඔවුන් කැටි ව ම
සුපිරිසිදු සළු ඉවත ලා
එනු මැනව ඔහු මෙන්
දූලි විසිරුණ බොල් පොළොව වෙත

නිරෝධය!
කොහි වේ ද නිරෝධය?
නිමැවුමේ මහා බර
රැගෙන ඇත දෙවිඳුන් තුටින්,
සදාකාලයෙන් සදාකාලයට
බැඳී ඇත ඔහු අප සමඟ
එනු මැනව දැහැනින් මිදී
සුවඳ දුම් මල් කැකුළු පසෙක ලා
ඔබේ සළු පිළි දූලි කසටින්
වැසි පිපිරෙනු කවර වරදද ?

මුණ ගැසී මේ ශ්‍රම කෙතේ
ඇතිව දෙබැමේ රැඳුණ දහබිඳු
හුන මැනව උරෙනුර ගැටී
දෙවිඳුන් සමඟ!


_________________________________________________________________

Leave this chanting and singing and telling of beads! Whom dost thou worship in this lonely dark corner of a temple with doors all shut? Open thine eyes and see thy God is not before thee! He is there where the tiller is tilling the hard ground and where the path maker is breaking stones. He is with them in sun and in shower, and his garment is covered with dust. Put of thy holy mantle and even like him come down on the dusty soil! Deliverance? Where is this deliverance to be found? Our master himself has joyfully taken upon him the bonds of creation; he is bound with us all for ever. Come out of thy meditations and leave aside thy flowers and incense! What harm is there if thy clothes become tattered and stained? Meet him and stand by him in toil and in sweat of thy brow.

Thursday, April 02, 2015

ඔබ පා කමල රැඳෙන තැන | දස වන ගීය

මෙතැන වේ පා පුටුව ඔබගේ
පා කමල නිරතුරුව රැඳෙනා
එතැන වේ දිළිඳුන් දුබලයන්
මඟ හසර වැරදුණ දනා


කරනු පිනිපා සිරස නැමෙනා
පතුල නොදකිමි රැඳෙන සිරි පා
එතැන වේ දිළිඳුන් දුබලයන් 

මඟ හසර වැරදුණ දනා

මමංකාරය ලඟා නොවනා
බිමෙක ඔබ දළ වතින් සරනා
එතැන වේ දිළිඳුන් දුබලයන් 

මඟ හසර වැරදුණ දනා

මගේ හදවත මඟ නොදන්නා
බිම් කඩෙක ඔබ නිබඳ සරනා
දනන් කිසි කල නොලද සරණා
ඔබේ සරණින් සරණ ලබනා
එතැන වේ දිළිඳුන් දුබලයන් 

මඟ හසර වැරදුණ දනා
__________________________________________________________________

Here is thy footstool and there rest thy feet where live the poorest, and lowliest, and lost. When I try to bow to thee, my obeisance cannot reach down to the depth where thy feet rest among the poorest, and lowliest, and lost. Pride can never approach to where thou walkest in the clothes of the humble among the poorest, and lowliest, and lost. My heart can never find its way to where thou keepest company with the companionless among the poorest, the lowliest, and the lost.

Wednesday, April 01, 2015

සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන් පිදෙන දෑ | නව වන ගීය

නුනුවණය මේ 
ඔබේ වෑයම
ඔබෙම කරපිට නැගී යන්නද ?
යාචකය මේ 
ඔබේ වෑයම
ඔබෙම දොර අබියස 
යදින්නද ?

සියලු දෑ දැරි ඔහුගෙ සුරතේ
ඔබේ බර පොදි තබා යනු මැන !
කිසි දිනෙක සන්තාපයෙන්
හැරී ආ මග නෙත් නොලනු මැන !

ඔබේ අබිලස් හුස්ම තැවරුණ
විගස පහනින් එලිය විහිදෙයි
අපරිශුද්ධයි, කිලිටි දෑතින්
තිළිණ ඔබගේ ගැන්ම අකැපයි !
සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන්
පිදෙන දෑ පමණක්ම කැප වෙයි !

__________________________________________________________________

O Fool, try to carry thyself upon thy own shoulders! O beggar, to come beg at thy own door!Leave all thy burdens on his hands who can bear all, and never look behind in regret. Thy desire at once puts out the light from the lamp it touches with its breath. It is unholy --- take not thy gifts through its unclean hands. Accept only what is offered by sacred love.

Saturday, February 07, 2015

කුමාර බන්ධනය | අට වන ගීය

කුමර සළුපිලි පෙරෙවි
රන් මිණි දමින් ගෙල බැඳි
සිගිත්තා නො විඳී
කෙළි දෙළෙහි ප්‍රහර්ෂය
ඔසවන පියවරක් පාසා
ගැටෙයි සළුපිලි ඔහු සමග

සළු ඉරී වැරහැලි වෙතැයි
ධූලියෙන් එය කෙළෙසෙතැයි
බියෙන් වෙන් වී ලෝකයෙන්
නිසල වේ ඔහු හිටි පියවරින්

පලක් වෙද මෑණියනි ඔබගේ
බන්ධනය මේ විසිතුරු
වලකාලයි නම් ඔහු
මහ පොළෝ මවුනගෙ
සුවදායී දුහුවිල්ලෙන්
උදුරා ගනී නම් ඔහු හිමිකම
පිවිසෙනු පිණිස මහ පොළොවේ
සොඳුරු මිනිසත් බව වෙත

__________________________________________________________________

The child who is decked with prince's robes and who has jeweled chains round his neck loses all pleasure in his play; his dress hampers him at every step. In fear that it may be frayed, or stained with dust he keeps himself from the world, and is afraid even to move. Mother, it is no gain, thy bondage of finery, if it keep one shut off from the healthful dust of the earth, if it rob one of the right of entrance to the great fair of common human life.

විසිතුර උනාලූ මගේ ගීතය | සත් වන ගීය

මගේ ගීතය
ඇගේ විසිතුරු
පිළිද අබරණ උනා ලයි
සළු පිළිද සැරසුමෙහි අබිමන
ඇගේ මනසින් මුදාලයි
බරණ විසිතුර අප අතර හිඳ
සම්ප්‍රයෝගය නසාලයි
සිලි සිලිය එහි මගේ සවනින්
ඔබේ මිමිණුම වසා ලයි

ඔබේ දැකුමෙන් මගේ කිවියර
අහංකාරය දියව ගොස්
හිඳගනිම් කිවිසුරානනි මම
පා කමල් අබියස ඔබේ !
ඉඩ දෙන්න මට තනා ගන්නට
අකුටිලව වස් දඬුව සේ
දිවිය, ඔබ හට ඉඩහසර දී
පුරාලන්නට මියැසියෙන් !

__________________________________________________________________

My song has put off her adornments. She has no pride of dress and decoration. Ornaments would mar our union; they would come between thee and me; their jingling would drown thy whispers. My poet's vanity dies in shame before thy sight. O master poet, I have sat down at thy feet. Only let me make my life simple and straight, like a flute of reed for thee to fill with music.