Saturday, February 07, 2015

කුමාර බන්ධනය | අට වන ගීය

කුමර සළුපිලි පෙරෙවි
රන් මිණි දමින් ගෙල බැඳි
සිගිත්තා නො විඳී
කෙළි දෙළෙහි ප්‍රහර්ෂය
ඔසවන පියවරක් පාසා
ගැටෙයි සළුපිලි ඔහු සමග

සළු ඉරී වැරහැලි වෙතැයි
ධූලියෙන් එය කෙළෙසෙතැයි
බියෙන් වෙන් වී ලෝකයෙන්
නිසල වේ ඔහු හිටි පියවරින්

පලක් වෙද මෑණියනි ඔබගේ
බන්ධනය මේ විසිතුරු
වලකාලයි නම් ඔහු
මහ පොළෝ මවුනගෙ
සුවදායී දුහුවිල්ලෙන්
උදුරා ගනී නම් ඔහු හිමිකම
පිවිසෙනු පිණිස මහ පොළොවේ
සොඳුරු මිනිසත් බව වෙත

__________________________________________________________________

The child who is decked with prince's robes and who has jeweled chains round his neck loses all pleasure in his play; his dress hampers him at every step. In fear that it may be frayed, or stained with dust he keeps himself from the world, and is afraid even to move. Mother, it is no gain, thy bondage of finery, if it keep one shut off from the healthful dust of the earth, if it rob one of the right of entrance to the great fair of common human life.

විසිතුර උනාලූ මගේ ගීතය | සත් වන ගීය

මගේ ගීතය
ඇගේ විසිතුරු
පිළිද අබරණ උනා ලයි
සළු පිළිද සැරසුමෙහි අබිමන
ඇගේ මනසින් මුදාලයි
බරණ විසිතුර අප අතර හිඳ
සම්ප්‍රයෝගය නසාලයි
සිලි සිලිය එහි මගේ සවනින්
ඔබේ මිමිණුම වසා ලයි

ඔබේ දැකුමෙන් මගේ කිවියර
අහංකාරය දියව ගොස්
හිඳගනිම් කිවිසුරානනි මම
පා කමල් අබියස ඔබේ !
ඉඩ දෙන්න මට තනා ගන්නට
අකුටිලව වස් දඬුව සේ
දිවිය, ඔබ හට ඉඩහසර දී
පුරාලන්නට මියැසියෙන් !

__________________________________________________________________

My song has put off her adornments. She has no pride of dress and decoration. Ornaments would mar our union; they would come between thee and me; their jingling would drown thy whispers. My poet's vanity dies in shame before thy sight. O master poet, I have sat down at thy feet. Only let me make my life simple and straight, like a flute of reed for thee to fill with music.

Monday, May 26, 2014

මේ සිඟිති මල් කැකුළ - හවන ගීය

නෙලා රැගෙන යනු මැන
මේ සිඟිති මල් කැකුළ
නොපමාව.!
මිලානව එය දූලි මත වැද
කෙලෙසෙතැයි මම බියවෙමි.

ඔබැ උරතලෙහි රැ‍ඳෙනා
මල් දමෙක 
ඉඩ
අහිමි වුව 
එයට,
නෙලාගත මැන ඔබේ දෑතේ
වේදනාබර ස්පර්ශයෙන් පුදමින්!

මා අවදිවනු පළමු
අද දවස ගෙවී ගොස්
පිදුම් කල නිමාවී-
-යතැයි මම බියවෙමි.


සුවඳින් සිථිල වුව
පැහැයෙන් නොගැඹුරු වුව
යොදාගත මැන එමල 

ඔබ සැනහුමෙහි
නෙලාගත මැන එමල

මේ සුදුසු කාලයෙහි.
__________________________________________________________________

Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop into the dust. I may not find a place in thy garland, but honour it with a touch of pain from thy hand and pluck it. I fear lest the day end before I am aware, and the time of offering go by. Though its colour be not deep and its smell be faint, use this flower in thy service and pluck it while there is time.

ඔබේ දසුනෙන් වියෝවූ හද‍ - පස් වන ගීය

දුන මැනව අවසර 
නිමේෂයකට
ඔබ පසෙක හිඳ ගැනුමට
නිමා කරලනු පිණිස වූ 
සියලු දෑ මම
ඉන් පසුව හඟින්නෙමි.

ඔබේ දසුනෙන් වියෝ වූ සඳ 
නොදනී සේයාවකුදු මා හද 
සහනයෙක හෝ සැනැසුමෙක.
පලායයි සියලු දෑ
හසරක් නොදැන කැලැඹේ
වෙරළක් නුදුටු
සමුදුරු රළ පෙළක් මෙන්

කවුළු දොරකඩ වෙත පැමිණි
ගිම්හානයේ සුසුම් හඬ
රහස් කෙඳුරුම ඇසේ මට 
සුපුෂ්පිත තුරු විසුළ උයනෙහි
අනුරාව නංවති බිඟු 
මියුරු පැසැසුම් ගායනා

හිඳගෙන නිසසලව
ඔබැ මුහුණ පෙනෙනා තැනෙක
මේ නිසංසල මිහිර හා  
පිරී ඉහිරෙන සැනසුම
නමින් පබැඳුණු ගී පද 
ගැයිය යුතු කාලයයි මේ..!
________________________________________________________________

I ask for a moment's indulgence to sit by thy side. The works that I have in hand I will finish afterwards. Away from the sight of thy face my heart knows no rest nor respite, and my work becomes an endless toil in a shore-less sea of toil. Today the summer has come at my window with its sighs and murmurs; and the bees are plying their minstrelsy at the court of the flowering grove. Now it is time to sit quite, face to face with thee, and to sing dedication of live in this silent and overflowing leisure.

Thursday, September 26, 2013

හදවතේ ගැඹුරුතම පූජාසනයේ සිටී ඔබ - සිව් වන ගීය


මගේ දිවියේ සාරය!
වෑයම් කරමි නිරතුරු
පිවිතුරුව තබා ගන්නට මා ගත
දන්නා හෙයින් ඔබැ දිවමන් පහස
මා ගත පුරා රැඳෙන බව

වෑයම් කරමි නිරතුරු
සිතිවිල්ලෙන්
පලවා හරින්නට අසත්‍යය
දන්නා හෙයින් සත්‍යයය
ඔබ පමණක්මැ බව 
බුද්ධියේ ආලෝකය
මා මනස තුළ දල්වන

වෑයම් කරමි නිරතුරු 
හදවතින්
සියලු පාපය පලවා හැර
රඳවන්නට ආදරය මල් කැකුළක
දන්නා හෙයින් හදවතේ
ගැඹුරුතම පූජාසනයේ
ඔබ වැඩ වෙසෙන බව

වෑයම් කරමි 
හෙළිදරව් කරනට ඔබ 
මාගේ ක්‍රියාවන් තුළ
දන්නා හෙයින් 
ඔබේ ශක්තිය බව
මගේ කටයුතු වලට
දිරි ලැබෙන 
__________________________________________________________

Life of my life, I shall ever try to keep my body pure, knowing that thy living touch is upon all my limbs. I shall ever try to keep all untruths out from my thoughts, knowing that thou art that truth which has kindled the light of reason in my mind. I shall ever try to drive all evils away from my heart and keep my love in flower, knowing that thou hast thy seat in the inmost shrine of my heart. And it shall be my endeavor to reveal thee in my actions, knowing it is thy power gives me strength to act.

Wednesday, April 18, 2012

බැඳ දමා ඇත ඔබ ‍මගේ හදවත - තෙවන ගීය

නොදන්නෙමි හිමියෙනි මම, ඔබ
කෙලෙස මේ ලෙස ගයන්නේදැයි
සවන් දෙමි නිසසල ව
හද රැඳුණු විස්මයෙන්

දිදුලවයි මුළු ලොවම
ඔබැ මීයැසි ආලෝකය
දුරට විහිදෙන

රිද්මයක් වෙයි
ජීවන සුස්මේ
ආකාසයෙන් ආකාසයට
පැන දිවෙන ස්වර දැහැන

පවුරු පදනම් කඩා හෙලමින්
දිවයයි දුරින් දුරටම
පරම පිවිතුරු ඒ 
සංගීත ප්‍රවාහය

බලා හිඳී විඩාපත් හදවත
එක්වනු පිණිස ඔබැ ගීයට
අරගල කරයි උපදනු පිණිස
එකම එක ස්වරයෙක් හෝ

හඬ නැ‍‍ගෙයි - හඬ ඇසෙයි
නමුදු මගේ කටහඬ
සංගීතයක් නම් නොවෙයි.
අඟුලු ලූ මුව ඇතිව
ශෝකයෙන් මුරගාමි

අනේ...
බැඳ දමා ඇත හිමියෙනි
ඔබ ‍මගේ හදවත
අන්තයක් නොමැති ඒ
මියුරු ගී දැල්කඩින්
__________________________________________________________________

I know not how thou singest, my master! I ever listen in silent amazement. The light of thy music illumines the world. The life breath of thy music runs from sky to sky. The holy stream of thy music breaks through all stony obstacles and rushes on. My heart longs to join in thy song, but vainly struggles for a voice. I would speak, but speech breaks not into song, and I cry out baffled. Ah, thou hast made my heart captive in the endless meshes of thy music, my master!

Wednesday, March 07, 2012

‍සයුරු දිය මත පියා සලනා ප්‍රීතිමත් විහඟකු ලෙසින් - දෙවන ගීය

ගයන්නට ඔබ නියම කළ සඳ
අබිමනින් මා හද බි‍ඳේ
ඔබේ වුවනත දෙස බලන මා
නුවන් යුග කඳුලින් පිරේ

විලින වී දිවි කටුක අමිහිර
මියුරු සර ප්‍රසංවාදයකට
සයුරු දිය මත පියා සලනා
ප්‍රීතිමත් විහඟකු ලෙසින්
මගේ හද රැඳි බුහුමනේ
පියාපත් යුග දිග හැරේ

දනිමි මම ඔබ මගේ ගැයුමෙන්
ඔකඳ වන බව ප්‍රීතියෙන්
දනිමි ඔබ දැකුමට පැමිණියේ
පමණි ගයුවකු විලසින්

කිසි කලෙක මට ළඟා වන්නට
නොහැකි ඔබගේ පා කමල්
දිගහැරෙන මා ගීතයන්ගේ
පියා තුඬගින් පිසැ හරිම්

අමතක ව ගොස් මට ම මා
මත් ව ගීත ප්‍රමෝදයෙන්
හඬගාමි මම ඔබට දැන්
මිතුරාණනී මා ස්වාමී වූ

When thou commandest me to sing it seems that my heart would break with pride; and I look to thy face, and tears come to my eyes. All that is harsh and dissonant in my life melts into one sweet harmony and my adoration spreads wings like a glad bird on its flight across the sea. I know thou takest pleasure in my singing. I know that only as a singer I come before thy presence. I touch by the edge of the far-spreading wing of my song thy feet which I could never aspire to reach. Drunk with the joy of singing I forget myself and call thee friend who art my lord.